ආයුබෝවේවා යාලුවනේ...
අද කතා කරන්නේ සරල සුන්දර ගීයක් ගැන.ලෝකයේ තියෙන හැම ආදර කතාවක්ම සම්මත ඒවාම නොවේ. අසම්මත පෙම ගැන, අසම්මත පෙම් කතාවන් ගැන ලෝකය පුරාම විස්තර තියනවා.එහෙම ඒවා ගැන මෑත කාලීනව අපටද අසන්නට දකින්නට ලැබුනා.ඒ කතා පැත්තකින් තියමුකෝ... ඔබට මටද මෙවන් අත්දැකීම් අනිවාර්යයෙන්ම ඇති.ටිකක් හීන් සීරුවේ මතක් කලොත් සිතින් විතරක් කරන ලද හෝ මෙවන් අසම්මත පෙම් පුවත් අපේ යටගියාවෙන් හොයාගන්න බැරිවෙන එකක් නෑ.අන්න එවැනි අසම්මත පෙමක විරහව ගැන කියන මේ ගීය ලියන ලද්දේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දරයන් විසින් වන අතර ඔහු විසින්ම කියා ඇති විදිහට මේ ගීයට විශේෂ නිමිත්තක් නොමැතිව ලියන ලද්දක්.
තහනම් වෙච්ච එහෙම නැත්නම් අසම්මත පෙමක් අවසන් කොට යන්න සුදානම් වෙන පිරිමියා ඒ ආදරියගේ බැල්ම දිහා බලාගෙන ඉන්න ගමන් ඔහුට මතක් වෙනවා ඇය සසර පුරා උපදින තාක් තමා ඇයගේ බව කී අයුරු.. ඒත් කම්පාවී කුමක්නම් කරන්නද මේ අසම්මත පෙමක් යන්න ඔහුට සිහිවෙන බව පලමු පද පෙළින් කියවේ... එම අවස්ථාව මැවෙන ලෙසම ලියූ පද පෙලින් සහ සනත් නන්දසිරි සූරීන් ගේ ගායනය තුලින් අසන්නාටද ඒ අවස්ථාව මවා ගත නොහැකිනම් නොවේ.
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පාවී කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගේ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
ඊළඟ පද පෙලේ ලස්සන කතාවක් කියලා තියෙනවා.අසම්මත පෙමක ඉදන් වුවත් ඔහු ඇයගේ නෙත් දෙක ගැඹුරටම දකිනවා.එහෙම නැත්තන් ඒ දෑස දෙස ගැඹුරින් ඔහු බලනවා.ඒ දෑස තුලින් ඔහු දකින්නේ ජිවිතේ. ජිවිතේ දකින ඔහු ඊළග පදයෙන් කියන දේ හොදින් අසන්න.මේක තහනම් එහෙම නැත්තන් අසම්මත පෙමක් නිසා ඔවුන්ට දෑත් පටලාගෙන ආදරයෙන් වෙලෙන්න බෑ.ඒ නිසාම දෑතින් අල්ලගෙන ඇයට කියන්න තිබුණු දුක් කියලා නැතිවුණත් ඒ දුක ඔහුට ඒ දෑස තුලින් දකින්න පුලුවන්.අහන්න ඊළඟ පද දෙක.ඒ මල්වර වූ ඈගේ දෙතොලින් ඉල්ලන්නේ අනුරතිය යි... ඒ කියන්නේ ඇයගේ දෙතොල යදින්නේ අනුරාගී බවයි.ඒ දෙන බලාගෙන උමතු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද යන්නයි ඔහුගේ පැනය... ඒ පැනයට පිළිතුර තියෙන්නේ අවසන් පද පෙළ තුලයි.
ගැඹුරු ඔබේ දෑස පුරා ජිවිතේ පෙනේ
දෑත මගේ දෑතේ ඔබා නොකි දුක් දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා ඉදිනු කෙසේදෝ උමතු නොවී
ප්‍රේමය පොකුරු වගේ පිරිලා තියෙන පෙම් සිතක් උනත් ඒ සිතට අයිතියක් නෑ.නීල නුවන් හරිම විස්මිතයි. ඒවා නිල් අහස වගේ දිදුලන්නේ... ඒ ඔහු ඇය වෙත බැදී ඇති තරම.ඇයගේ සිත ගැන ඔහු දකින විදිහ.කලින් පද පෙළ තුලින් අහපු ප්‍රශ්නයට උත්තරය අවසන් පද දෙකෙන් ලබාදෙනවා.ඔහු උමතු වෙලා නැත්තෙම නෑ.ඔහු වියරුවට පත් වෙලා නමුත් හිරි ඔතප් එනම් ලැජ්ජාව සහ භය කියන දේවධර්ම දෙක ඔහු රකිනවා.මොකද ඒ... ඔහු ඇත්ත තෙරුම් අරන් ඉන්නේ.ඔබ මගේ , මා ඔබේ කියන්න බෑ... ඒක එහෙම නෙවෙයි.මේ අසම්මත පෙමක්... ජිවිතයකදි වෙන්න පුලුවන් දෙයක් මේ තහනම් ආදරය. නමුත් ඒ තුල ඇත්ත තෙරුම් අරන් දුරස්වෙලා වියෝ වෙන දෙදෙනෙක්ගේ කතාව.ප්‍රනීත් අභයසුන්දරයන් එය නැවුම් ශෘංගාරාත්මක ආකාරකින් ලියමින් සනත් නන්දසිරි ගායකයානම් ඒ රස මතුවෙන ලෙස ගැයු සරල ගීයක්...
පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී
විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබද මගේ මමද ඔබේ නෑ එසේ නොවේ
මේ ගීය ඔබත් රසවිදින්න. තහනම් ආදරයේ විරහාව ඔබත් ගීය තුලින් දකින්න.
ගීය :- https://youtu.be/23IkU6Z49fs
එසේනම් නැවත වෙනත් ගීයකින් හමුවෙමු.ඔබගේ අදහසත් ලියා යන්න.