Friday, October 31, 2025

නිලට නිලේ නිල් කැටේට

ආයුබෝවන් වේවා. ආයේත් කාලෙකට පස්සේ ලස්සන ගීයක අරුත බෙදාගන්න හිතුවා. 

මේ ගිය සිකුරු හතේ චිත්‍රපටයේ ගීයක්.ගීතය ගායනා කරන්නේ ගායන ශිල්පී කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි ගායන ශිල්පිනිය විසින්.

ඉතා සරල නමුත් සුන්දර තේරුමක් මේ ගීයට තියෙනවා.මේ ගීය පෙම්වතුන් දෙපළක් විසින් කියන ගීයක් වන අතර කෙනෙක් අනිත් කෙනා අගය කරමින්, ලස්සන උපමා වලින් දෙදෙනා අතර වෙන සුහද සුන්දර කතා බස් කිරීමක් නිරූපණය කරයි. 

අපි ගීයේ පද පෙලෙන් පෙලට තේරුම කියවා ගමු.  


නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය 
ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට තාල නඟන රළ පෙල ඔබය 
නොසිදෙන පෙම් උල්පත ඔබය 
බිඳෙනා පෙම් රළ පෙල ඔබය 


පිරිමි කෙනා විසින් කියනවා නිල් පාට ලස්සනට ගලා හැලෙන ජල පහරකට සීතල හදලා දෙන උල්පත ඔබයි කියලා ගැහැණු කෙනාට කියනවා.එතකොට ගැහැණු කෙනා කියනවා ඒ දිය පහර උඩින් හෙමිට නැගෙන රළ පෙල ඔහු බව ආපිට කියනවා.එතන හරිම ලස්සන විදිහට උපමා යොදාගෙන තියෙනවා.පිරිමි කෙනා විසින් කියනවා දිය කඳක් නිවාලන සිසිල තිබෙන උල්පත ගැහැණු කෙනා බව.අවසන් පද බැලුවාම තේරෙන දේ තමයි ඔහු කියන්නේ ඔහුව නිවාලන ප්‍රේමය දෙන කෙනා ඇය බවයි. එලෙසම ඒ පෙම් උල්පත් දිගටම ලැබෙන එකක් බව පිරිමි කෙනා කියන්නේ නොසිදෙන පෙම් උල්පත ඇය බවයි.පිරිමි කෙනා එහෙම කියද්දි ගැහැණු කෙනා කියනවා ඒ දිය පහර මත හෙමි හෙමිට අත්ල තබමින් ඇවිද යන පෙම් රළ පෙළ ඔහු බව.රළ කියන්නේ හරි ලස්සනට පේන දෙයක් වගේම බිඳෙන විට ලස්සන වෙන දෙයක්.ගැහැණු කෙනා එය කියන්නේ බිඳෙනා පෙම් රළ පෙල ඇය බවයි. 


රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන පුදුම හිතෙන හිත් මල ඔබය 
ඒ හිත්මල සිඹ සැනසෙන නටුමත කටු ඇති බව දැන සුවඳ විදින බඹරිදු ඔබය 
පුදුම හිතෙන හිත්මල ඔබය 
සුවඳ විදින බඹරිදු ඔබය 


දෙවන පද පෙළට එද්දි කතාබහට තවත් මිහිරි උපමා එක්වෙනවා.රතුම රතු පාටට පිපිලා වැනෙමින් මල නෙලාගන්න කියන පුදුම හිත් මල ඇය බවයි.ආදරේ පාට, රතු පාට ලස්සන මලක් වගෙ හිතක් ඇයට තිබෙන බව දකින පෙම්වතා ඒ හිත්මල තමන්ට අයිති කරගන්න පුලුවන්, අයිති කරගන්න කියලා කියන බව දකිනවා. ඒ අතර පෙම්වතිය ඇය දකින දේ කියන්නේ ඔහුව බඹරෙකුට සම කරමිනි.අර ලස්සන රතු පාට මල සිඹගෙන සැනසෙන, හැබැයි නටු අතර කටු තිබෙන බවත් දැනගෙන ඇයගේ ප්‍රේම මලේ සුවඳ විදින බඹර රාජයා ඔහු බවයි.ඔවුන් දෙදෙනා අනෙකා පරයා යමින් තමාට වඩා සොදුරු ලෙස අනෙකා වර්ණනා කරනවා.ගීය උපමා ඇසුරින් පෙම්වතුන්ගේ කතා බහ දිගටම සොදුරු ලෙස ගලා යන්නට ඉඩ හදනවා. 


ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන නුරා ගොයම් යායම ඔබය 
ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින සරා සුවඳ මදනල ඔබය 
නුරා ගොයම් යායම ඔබය 
සරා සුවඳ මදනල ඔබය 

 ඊලඟට අවසන් පද පෙළෙන් පෙම්වතා පෙම්වතිය පැසුණු ගොයම් යායකට පෙම්වතිය සම කරනවා. ගිරා නිල් පාටට (කොළ පැහැයට) හුරු පැසිලා දිදුළන ඉක්මනින් නෙලා ගත යුතු ගොයම් යායම ඇය බව කියනවා.ලස්සන ගොයම් යායකට පෙම්වතිය සමකරන පෙම්වතාව,පෙම්වතිය විසින් සමකරන්නේ ඒ ගොයම් යාය ඇතුලින් කිමිදී ඇදී යන සුවඳ හමන මදනලකටය. ඒ අලුත් ගොයමේ කිමිදි කිමිදි ඇදී යන ළය නියරේ නිතර ඇවිදින සුවද හමන මදනල පෙම්වතාට සමකරමින් කියන්නේ හැමවෙලේම ඇයගේ හිතට(ළයට) දැනෙන සරා සුවද දෙන කෙනා පෙම්වතා බවයි.


මේ ගීතය පුරාවටම පරිසරයේ සොදුරු තැන් උපමා ලෙස යොදාගෙන ඇති අතර අපට දැනෙන හැඟෙන ලෙස කියයි.ඒ වගේම ඔවුන් දෙදෙනා එක දේ තුල ඇති දේවල් වලින් දෙදෙනාගේ සොදුරු බව පෙන්වයි. ඒ වගේම ගායන කරන දෙදෙනාට අපට දැනෙන ලෙස සොදුරුව ගයමින් ඒ සුන්දර කතා බහ අපට විදින්නට සලස්වනු ලබයි. 

 ගීතය පහත දිගුවෙන් රස විදිමින් ඔබගේ අදහසත් කියා යන්න.
 
https://youtu.be/6IG8DAuZllA?si=KwnrolzlhXDNghNd

Sunday, October 18, 2020

වන්නි වන පෙතේ

ආයු බෝ වේවා ...! 
කාලෙකින් ආවා ගීතයක සොදුරු අරුතක් අරගෙන... මේ ගීය බණ්ඩාර ඇහැලියගොඩ සූරීන් විසින් පද රචනය කරන ලදුව රෝහණ වීරසිංහ සූරීන් විසින් සංගීතවත් කර සුනිල් එදිරිසිංහ මහතාගේ හඩින් ගැයු ගීයක්... 
ගීතය තමයි "වන්නි වන පෙතේ " කියන ගීය.

මේ ගීතය තුලින් අතීතය වර්තමානය සංසන්දනයක් මෙන්ම, ගම නගරය සංසන්දනයක් ලෙසද අපට දැක ගත හැකිය සොදුරු අරුත්බර ගීයකි.රචකයානම් විසින් ගම මෙන්ම අතීතය තුල තිබු ගුණවත් බවත්, වර්තමානය තුල මෙන්ම නගරයේ ඇති දුෂ්කරතා ගැන අපුරුවට පෙන්වා දේ...

වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

වන්නි වන පෙතේ
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ 
කියන එකෙන් ඈත් එපිට වන්නියේ දුෂ්කර ගම්මාන ගැන හදුන්වාදෙන රචකයා ඒ ගම් තුල වෙස්සන්තර කෙනෙකු සමාන පියවරුන් සිටින බවත් ඒ පියවරුන්ට ගෞරවයෙන් වන්දනා කරන බවත් පවසනවා.වෙස්සන්තර රජු වන අප බෝසතාණන් වහන්සේ එම ආත්මයේදී දාන පාරමිතාව සපුරන අතර එහිදි තමන් සතු සියලු දේ දන්දෙන අතර අවසන  තමන්ගේ දරුවන් සහ බිරිඳද දන් දීමට තරම් ඉමහත් දාන චිත්තයක් සහිත වීම කියන කාරණය අප සියලු දෙනාම දන්නා අතර එලෙසින්ම දන්දීමට ප්‍රිය වූ පියවරුන් ඈත පිටිසර ගම් වල සිටින බව සහ ඔවුන්ට ගෞරවය වන්දනාව සිදුකරන බව රචකයා පළමු පද පෙළෙන් අපට සිහි කරනවා.
ඒ අයට කෑම බීම කියා අමුතු වෙන් වියදමක් නැත්තෙ ඔවුන්ගේ බොහො අවශ්‍ය දේ තම වත්තෙ පිටියේ, වෙලේ වගා කරන දෙයක් නිසාය

දෙවන පදපෙළ තුලදී ඒ පියවරුන් සතු එම දාන ප්‍රිය ගුණය රචකයා සුන්දරව පෙන්වා දෙනවා.

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

අදද සමහර ගම්වල වැසියන් තනියම කෑම බීම සිදු නොකරන අතර අවම අසල්වැසියන් සමඟ හෝ බෙදා හදාගැනීම පුරුද්දක් කරගෙන ඇත. තනිවම කන්ට බෑ කියා, ගමටම බත් බුලත් නිරතුරුව දන් දෙන ඒ පියවරුන් ගැන කියන රචකයාණන් ඒ අපුර්ව ගුණවත් පියවරුන් ගේ දරුවන් හට පෙර කරන ලද පව් පල දී නගරය අසල බින්න බැස එහෙම නැත්තන් ඔවුන්ට නගරයටම වී ඉන්න සිදුවී ඇති බව පෙන්වා දෙන්නේ චමත්කාර වචන යොදාගනිමිනි.
නිතර දන් පැන් දීම, බෙදා හදාගෙන කෑම බීම කරන ඒ පියවරුන්ට ජාත වී ඇති දූ දරුවන් එම ගුණයහපත් කම් නැති නගරය අසලට ගොස් ඇති බව කියන්නේ ගම නගරය සසදමින්‍ ය.

අවසන් කොටසේදී ඇහැලියගොඩ සූරීන්  විසින් නගරයේ දරුවන් තුල ඒ ගුණ නැති බවත්, ඔවුන්ගේ නිදහස් මනස ඇහිරී ඇති අයුර පෙන්වා දේ...

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

බොහො කාලයක් තමන්ගේ දෙමාපියන්, වැඩිහිටි අය, නෑ පිරිවර දෙන ලද දානයන් ගැන මෙන්ම දානය ගැන හැඟීමද සිත තුල තිබුණත්, දන් දෙන්න ආසාව තිබුණත් ඒ දූ දරුවන්ට එය මුදුන් පමුණුවා ගන්නට නොහැකියි.එයට හේතු කාරණයද රචකයාම කියයි මාසෙකට සැරයක් ලැබෙන්නේ අවශ්‍ය තරම් මුදලක් නොවන බව කියන්නේ සොච්චමක් ලැබෙන බව කියමිනි.ඒ ලැබෙන්නේ සොච්චමක් බැවින් කෑම එක කන්න ගද්දිම කවූරුන් හෝ පැමිණෙතැයි කියා බියෙන් දොර ජනෙල් වසාගෙන ඒ කෑම එක කන බවත්, එසේ කෑවත් එය දුකක් බවත් කියයි... 

අඳ පවා දකින්නට ලැබෙන , බොහොදෙනෙක් අත්විදින නගරයේ දුක්ඛිත  ජීවිතය ගැන ද, ගමේ සතුටින් සැහැල්ලුවෙන් සිටින ජිවීතය ගැනද පෙන්වා දෙන, උගන්වන සත්‍ය කතාව සොදුරු ස්වරයෙන් අපට සුනිල් එදිරිසිංහ කලාකරුවානම් කිය දේ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ




Sunday, September 13, 2020

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

ආයුබෝවේවා යාලුවනේ...
අද කතා කරන්නේ සරල සුන්දර ගීයක් ගැන.ලෝකයේ තියෙන හැම ආදර කතාවක්ම සම්මත ඒවාම නොවේ. අසම්මත පෙම ගැන, අසම්මත පෙම් කතාවන් ගැන ලෝකය පුරාම විස්තර තියනවා.එහෙම ඒවා ගැන මෑත කාලීනව අපටද අසන්නට දකින්නට ලැබුනා.ඒ කතා පැත්තකින් තියමුකෝ... ඔබට මටද මෙවන් අත්දැකීම් අනිවාර්යයෙන්ම ඇති.ටිකක් හීන් සීරුවේ මතක් කලොත් සිතින් විතරක් කරන ලද හෝ මෙවන් අසම්මත පෙම් පුවත් අපේ යටගියාවෙන් හොයාගන්න බැරිවෙන එකක් නෑ.අන්න එවැනි අසම්මත පෙමක විරහව ගැන කියන මේ ගීය ලියන ලද්දේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දරයන් විසින් වන අතර ඔහු විසින්ම කියා ඇති විදිහට මේ ගීයට විශේෂ නිමිත්තක් නොමැතිව ලියන ලද්දක්.

තහනම් වෙච්ච එහෙම නැත්නම් අසම්මත පෙමක් අවසන් කොට යන්න සුදානම් වෙන පිරිමියා ඒ ආදරියගේ බැල්ම දිහා බලාගෙන ඉන්න ගමන් ඔහුට මතක් වෙනවා ඇය සසර පුරා උපදින තාක් තමා ඇයගේ බව කී අයුරු.. ඒත් කම්පාවී කුමක්නම් කරන්නද මේ අසම්මත පෙමක් යන්න ඔහුට සිහිවෙන බව පලමු පද පෙළින් කියවේ... එම අවස්ථාව මැවෙන ලෙසම ලියූ පද පෙලින් සහ සනත් නන්දසිරි සූරීන් ගේ ගායනය තුලින් අසන්නාටද ඒ අවස්ථාව මවා ගත නොහැකිනම් නොවේ.

තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
මා බැලුවේ කම්පාවී කුමක් කරම්ද කියා
උපදින සංසාරේ ඔබ මගේ කීව නිසා
තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා


ඊළඟ පද පෙලේ ලස්සන කතාවක් කියලා තියෙනවා.අසම්මත පෙමක ඉදන් වුවත් ඔහු ඇයගේ නෙත් දෙක ගැඹුරටම දකිනවා.එහෙම නැත්තන් ඒ දෑස දෙස ගැඹුරින් ඔහු බලනවා.ඒ දෑස තුලින් ඔහු දකින්නේ ජිවිතේ. ජිවිතේ දකින ඔහු ඊළග පදයෙන් කියන දේ හොදින් අසන්න.මේක තහනම් එහෙම නැත්තන් අසම්මත පෙමක් නිසා ඔවුන්ට දෑත් පටලාගෙන ආදරයෙන් වෙලෙන්න බෑ.ඒ නිසාම දෑතින් අල්ලගෙන ඇයට කියන්න තිබුණු දුක් කියලා නැතිවුණත් ඒ දුක ඔහුට ඒ දෑස තුලින් දකින්න පුලුවන්.අහන්න ඊළඟ පද දෙක.ඒ මල්වර වූ ඈගේ දෙතොලින් ඉල්ලන්නේ අනුරතිය යි... ඒ කියන්නේ ඇයගේ දෙතොල  යදින්නේ අනුරාගී බවයි.ඒ දෙන බලාගෙන උමතු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද යන්නයි ඔහුගේ පැනය... ඒ පැනයට පිළිතුර තියෙන්නේ අවසන් පද පෙළ තුලයි.

ගැඹුරු ඔබේ දෑස පුරා ජිවිතේ පෙනේ
දෑත මගේ දෑතේ ඔබා නොකි දුක් දැනේ
මල්වරව දෙතොල් අනුරතිය යදී
එදෙස බලා ඉදිනු කෙසේදෝ උමතු නොවී

ප්‍රේමය පොකුරු වගේ පිරිලා තියෙන පෙම් සිතක් උනත් ඒ සිතට අයිතියක් නෑ.නීල නුවන් හරිම විස්මිතයි. ඒවා නිල් අහස වගේ දිදුලන්නේ... ඒ ඔහු ඇය වෙත බැදී ඇති තරම.ඇයගේ සිත ගැන ඔහු දකින විදිහ.කලින් පද පෙළ තුලින් අහපු ප්‍රශ්නයට උත්තරය අවසන් පද දෙකෙන් ලබාදෙනවා.ඔහු උමතු වෙලා නැත්තෙම නෑ.ඔහු වියරුවට පත් වෙලා නමුත් හිරි ඔතප් එනම් ලැජ්ජාව සහ භය කියන දේවධර්ම දෙක ඔහු රකිනවා.මොකද ඒ... ඔහු ඇත්ත තෙරුම් අරන් ඉන්නේ.ඔබ මගේ , මා ඔබේ කියන්න බෑ... ඒක එහෙම නෙවෙයි.මේ අසම්මත පෙමක්... ජිවිතයකදි වෙන්න  පුලුවන් දෙයක් මේ තහනම් ආදරය. නමුත් ඒ තුල ඇත්ත තෙරුම් අරන් දුරස්වෙලා වියෝ වෙන දෙදෙනෙක්ගේ කතාව.ප්‍රනීත් අභයසුන්දරයන් එය නැවුම් ශෘංගාරාත්මක ආකාරකින් ලියමින් සනත් නන්දසිරි ගායකයානම් ඒ රස මතුවෙන ලෙස ගැයු සරල ගීයක්...

පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක් නැතී
විස්මිත වූ නීල නුවන් අහස මෙන් දිලී
මා වියරු වෙවී හිරි ඔතප් රකී
ඔබද මගේ මමද ඔබේ නෑ එසේ නොවේ

මේ ගීය ඔබත් රසවිදින්න. තහනම් ආදරයේ විරහාව ඔබත් ගීය තුලින් දකින්න.

ගීය :- https://youtu.be/23IkU6Z49fs

එසේනම් නැවත වෙනත් ගීයකින් හමුවෙමු.ඔබගේ අදහසත් ලියා යන්න.
 

Friday, September 11, 2020

සුදු නෙළුම කෝ

ආයුබෝවේවා...!
ගොඩාක් කාලෙකින් සොදුරු අරුත් ඇති ගීයක් අරන් ආවා. මේ ගීය දුක්බර කතාවක් සහිත හෙළයේ මහා රචකයානම් වන රත්න ශ්‍රි විජේසිංහ යන් ලීයු හෙළයේ මහා ගාන්ධර්වයන් වන අමරදේව සූරීන් විසින් ගයනූ ලැබූ ගීයක්... 


ඉතින් අද අපි කතාකරන ගීතය වන්නේ සුදු නෙළුම කෝ සොරබොර වැවේ කියන සරල නමුත් අරුත්බර ගීයයි... පළමුවන පද පෙළ තියෙන්නේ පහත අයුරින්...

සුදු නෙළුම කෝ සොරබොර වැවේ 
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාලොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ

මෙහිදි රචකයාණන් අසන්නේ පසලොස්වක පොහොයදා පන්සල ලඟ නෙළාගත් මල් විකිණූ, මල් සුවඳින් මහියංගණ සුවදවත් කල සොරබොර වැවේ සුදු නෙළුම කෝ කියාය.ඒ ඇසීමෙන් අපට වටහාගන්න පුලුවන් මේ කියන්නේ පසලොස්වක පෝයදා ට සොරබොර වැවෙන් මල් කඩාගෙන වෙනදාට මහියංගණ පන්සල අසල මල් විකුණන ලද කෙනෙක් අද නොමැති බවයි... 
සුදු නෙළුම කියා හදුන්වන නිසා කාන්තාවක විය හැක.එසේම රත්න ශ්‍රී යන්ගේ බස් වහර නිසා සරල මුත් ඉතා සොදුරු ලෙස උපමාරූප මගින් ඉතා දුක්බර කතාවක් කියන්නට යන බව තේරුම් ගත හැක.


දෙවන පද පෙළ ගැයෙන්නෙ පහත ලෙසයි... 

වැවට කළුවර යාවුනා
සංසාර දුක බෝවුනා
නෙළුම් මල් ටික ඉහිරුණා
එහා ඉවුරට පාවුනා

ඊලඟ පද පෙලෙන් කියන්නේ ඉර අවරට ගිහින් කළුවර වැටිලා සසර දුක වැඩිවෙමින්ම  යන අතරේ නෙළුම් මල් ටික පෙති විසිරිලා අනෙක් ඉවුරට ගසාගෙන ගිහින්... ඒ කියන්නේනම් හවස් වෙන වෙලාවේ මල් නෙලන්න ගිය කාන්තාව නැවත පැමිණ නැති අතර එය කියන්නට රචකයාණන් උපමාවන්ම යොදාගනී.නෙළුම් මල් ටික ඉහිරුණා -එහා ඉවුරට පාවුනා යන පද පෙළ යම් විනාශයක් සිදුවී ඇති බව කියන්නට යොදාගෙන ඇති බව පෙනෙයි.


අවසන් පද පෙළ තුල 

සිහින් සිරිපොද වෑහුනා
ඉවුර දෙකපොල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

කියන්නේ සිරිපොද එනම් වැස්ස වැහැලා ඉවුරු දෙකම සේදීලා යන තරම් වතුර පිරිලා තිබෙන බව කියන රචකයන් ඊළඟ පද යුගලෙන් ඒ ශෝචනීය අවස්ථාව කියන අයුරු අපූරුයි.එනම් සුදු නෙළුම් මල මියගිහින් මෙහා ඉවුරට පාවෙලා ඇවිත් කියන වචන වලින් මල් කඩන්නට ගිය කාන්තාව මියගිහින් ඒ මළසිරුර ඉවුරට ගසාගෙන ඇවිත් බව කියයි...

සම්පූර්ණ ගීතය මගින් කියන්නේ මල් නෙලාගෙන පන්සලේ මල් විකුණන ලද කත අද පෙනෙන්නට නැති ඇයිද යන්න සොයා බලන රචකයා එය සොයාගෙන යද්දි මල් නෙලන්නට ගිය ඒ කාන්තාව රෑ වෙන තුරුත් පැමිණ නැති බවත් , වැස්ස වැහැලා පිරිලා ඉතිරිලා ගියපු වැවේ ගිලී මියගිය ඒ කතගේ මල සිරුර මෙහා ඉවුර පාවෙලා ඇවිත් ඇගේ ගමන නිමවී ඇති බවයි... 

පණ්ඩිත් අමරදේවයන්ම සංගීතවත් කර ගයන ලද මේ ගීය අසන විට අපටද ඒ ශෝචනීය අවස්ථාව නිතැතින්ම මැවී පෙනෙයි .

මෙහි රචකයාණන් වන රත්න ශ්‍රී විජේසිංහයන් ම කියන පරිදි මෙය සැබෑ සිදුවීමක් වන අතර එතුමා මොණරාගල ප්‍රදේශයේ සේවය කරන සමයේ ඔහු සිටි පාසලේ අවුරුදු 12ක් පමණ වන දැරියක් පාසලට පැමිණ නැත්තේ ඇයිද සොයන විට දුප්පත් ඇය හැමදාම මල් විකුණා පාසලට අවශ්‍ය දෑ ගැනිමට මුදල් සොයාගන්නා බවත්, එන පුර පොහොය දින පන්සලට(දෙමටමල් විහාරය ) එන අයට වැඩිපුර මල් විකුණා වැඩිපුර මුදලක් සොයන්නට සිතා ගිය ඇයට කලින් දා වැස්සෙන් පිරී ගිය වැව් දියේ අවසන් ගමන් ගොස් ඇති බවත්, රාත්‍රි වනතුරුත් නොපැමිණී ඇයව සොයා බැලු නමුත් සොයාගත නොහැකි වී ඇති අතර පසුදා ඇයගේ සිරුර ඉදුරට ගොඩ ගසා තිබෙන්නේ ඇත්තේ අතේ කඩාගත් මල් පෙති ගිලිහී යමින් තිබියදී බවයි. ඒ කතාව ඇසුරෙන් ඊට වසර ගණනකට පසු මේ ගීය ලියන බවයි.

ඒ ගීතය ඔබත් අසා ඔබගේ අදහසත් ලියන්න.

https://youtu.be/dwN-v3wSt6Q

වෙනත් ගීයකින් නැවත මුණගැසෙමු...


Friday, February 14, 2020

ඔබෙ රාගී මන කැලඹේ දෝ

ගොඩක් කාලයකින් ගීයක පද අරුත් අරගෙන ඔන්න අදත් ආවා..
අද තෝරාගත් ගීය සදහම් සයුරෙන් ගත්ත දේශන ඇසුරින් ලියන ලද ගීතයක්.මොකාද චිත්‍රපටයට අදාළ ලෙසම මේ ගීතය ථේර ගාථා වල අංගුලිමාල මහ රහතන් වහන්සේ වදාළ ගාථා වල අභාෂය ලැබී ඇති බව අපට සිතන්න පුලුවන්.මොකද අංගුලිමාල මහරහතන් වහන්සේ කියන්නේම පුදුම ඉවසීමක්,නැගී සිටීමක් තිබු උත්තමයෙක්.උන්වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරිමෙන්,සරණ යැමෙන් ලැබෙන වාසිය හොදටම දන්නවා.ඒ ජිවිත කතාව ලියපු කෙනානම් දැනගෙන ඉන්න ඇති නමුත් කියන රසවිදින අයනම් ඒක දන්නවාද දන්නේ නෑ.

විජය භාත් නිර්මාණය කළ, අනිල් බිස්වාන් සංගීත නිර්මාණය කල අංගුලිමාල් කියන හිංදි චිත්‍රපටය සිංහල දෙබස් ගන්වමින් අංගුලිමාල නමින් 1962 පමණ මෙරට තිරගතවෙද්දි ඒ චිත්‍රපටය වෙනුවෙන් කරුණාරත්න අබේසේකර ශූරීහු ලියන ලද අල්හාජ් මොමොහිදීන් බෙග් එසේත් නැතිනම් බෙග් මාස්ටර් විසින් ඉන්දියාවේ ශබ්දාගාරයකදි මුලින්ම ගායනා කරන ලද දිගු ගීතයක් වන ඔබේ රාගී මන කැළබේදෝ කියන ගීයයි තමයි අද තෝරාගැනීම.



එහෙනම් අපි ගී පද එකින් එක තේරෙන විදිහට අරුත විමසා බලමු...
මුලින්ම ගීය ආරම්භ කරනු ලබන්නේ තිසරණ සරණ යෑම සදහා බෞද්ධ අපි කියනු ලබන සරණාගමනයයි. එනම්

බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී

යන්නයි.ඊලඟට මෙහි කියනු ලබන්නේ රාගයෙන් මත් වෙලා මනස කැළබී තියෙන වෙලාවක, කෙලෙස් සැඩපහරින් නැහැවිලා වැසී ගිහින් ඉන්න වෙලාවට, එහෙම නැත්තම් පිවිතුරු හදවත (සිත) පෑරිලා ගිහින්නම් ඒ උතුම් සම්බුදු සරණය පවසන්න, සිහිකරගන්න කියන එක.මේ ගීතයට සද්ධර්මය තුල සදහන් වෙන කෙලෙස් ඕඝය කියන වචනය එලෙසින්ම යොදාගෙන තියෙනවා කියන්නේ පද රචකයා සදහම් දැනුමින් පෝෂණය වෙලා කියන එකට සාධකයක්මයි.

ඔබෙ රාගී මන  කැලඹේ දෝ
ක්ලේශය ඕගයෙ නෑවේදෝ

ඔබෙ රාගී මන කැලඹේ දෝ
පිවිතුරු හදවත පෑරේ දෝ

එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී

නැවතත් මුලින් කිවු තිසරණය කියන රචකයා ඊලග පද තුලින් තවදුරටත් ඒ සම්බුදු හිමි සිහිකරගත යුතු අවස්ථා පෙන්වා දෙයි. මෛත්‍රිය, කාරුණාව කියන ගුණදහම් දුෂණයට ලක්වී විනාශ වෙලා ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි වූ දුර්ගුණ පෝෂණය වෙලා වැඩි දියුණුවෙලා, මිනිසුන් තිරිසන් සතුන් සේ අපව පීඩාවට පත් කරන වෙලාවටත්, විෂඝෝර සර්පයන් වගේ මිනිස්සු මිතුරන් වගෙ වෙස්වලාගෙන එනවනම් ඒ වෙලාවටත් ඒ සම්බුදු සමිදුන් සිහිපත් කරන ලෙස රචකයා මතකයට නංවාලීමට උත්සහ ගන්නේ ධර්මා දේශනයක් කියා දෙන ලෙසින් ය... එලෙස කියන රචකය නැවත් තෙරුවන් සරණ යෑම සිහිපත් කර දෙයි.

මෛත්‍රී කරුණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ශ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ
මිනිසා තිරිසන් වේවීදෝ

ඝෝර විසැති නයි පොළඟුන් වන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්

එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී

ඊලඟ පද කොටස තුලද රචකයා සම්බුදු රජාණන් වහන්සේ සිහිකරගත යුතු අවස්ථාවක් කියා දේ. දුක් බරින් වේදනා විදින්න සිදුවෙන, සත්‍ය වැසි වැනසි ගොස්, නිර්මල පිවිතුරු ජිවිතය එසේ නැතිනම් තමන්ගේ චරිතවත් බව, පිනැති බව පව් වලින්, බොරුවෙන් විනාශ වී කෙලෙසයිද, අගතියෙන්, අයුක්තිය තුලින් යුක්තිය විනාශ වී තමන්ගේ ජීවිතය අවසනට ලං වේද ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ සිහිකොට ඒ බුදුහිමි සරණ යන ලෙස රචකයා අපට ලොකු වටිනා පණිවිඩයක් ලබා දේ.

දුක් බරිනී මිරිකී යාදෝ
සත්‍යය ලෝකේ වැනසී යාදෝ

නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
පවිටෙන් බොරුවෙන් කෙලෙසාදෝ

අගතිය යුක්තී මාරුතයේ
ප්‍රාණෙ ඔබේ දෙදරා යාදෝ

එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී

ඉන් පසුව කොටසේදී කන්තා ගායනයක් ගීතයට එකතු වේ.එය ගයන්නේ ලතා වල්පොල මහත්මිය බවයි සදහන් වෙන්නේ.එහිදි ලොව තනිව සිටින තමන්ගේ සිතෙහි පවතින ශෝක දුක් කිව හැකි කෙනෙක් නැති බවද, දයාව නැති සිතුවිලි වලින් මිනිසාගෙ හිත පිරුණු බවත් පෙන්වා දෙන රචකයා නැවත සම්බුදු සමිදුන් සිහිකළ යුතු අවස්ථාවක් පෙන්වා දේ. එනම් දයාව කරුණාව නැතිවෙලා ගිහින් නිර්දායාව ලෝකයේ රජවී මුලාවට පත් වූ මිනිසා ආගම සහ ධර්මය කෙලෙසා දමන බව කියා දී සත්‍ය බලය විනාශ වී ඇති බව කියන්නේ සත්‍ය බලය බිද වළදමා ඇති බව කියමිනි.මේ සියල්ල අවසන ශ්‍රද්ධාව, බැති සිත මිනිසුන් තුලින් ඉවත් වී ඇති බවත් ඒ සියල්ල දකිද්දී පවා සිහිකළ යුතු වන්නේ, පැවසිය යුතු වන්නේ බුදුහිමි සරණ යෑම බව කියා දේ..

කාට කියමී මගේ ශෝක අඳෝනා
ලෝකේ තනිවුන මේ ලෝවේ
මිනිසා හදෙහී නිර්දය සංදා

නිර්දය භාවය ලෝ රජ වී
දයා ගුණේ වී අන්තර්ධාන්
මෝහෙන් මත් වීලා මිනිසා
ආගම හා ධර්මේ කෙලෙසා

සත්‍ය බලේ බිඳ වලලාදෝ
ශ්‍රද්ධා භක්තිය දෙදරා දෝ

එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී

ඉන් පසුද ලෝකයේ වෙනස් වීම, ගුණ දහම් හිඟ වීමද ගැන සිහිකරමින් ජිවිතයේ යථාර්ථය පෙන්වමින් ඒ සියල්ල මැදද සම්බුදු සමිදුන් සරණ යෑම පෙන්වා දේ.
ප්‍රේමය ලොවෙන් වැනසිලා යද්දී වෛරයෙ ගිනිදැල් මතුවෙමින් ඇති බවත් මව දරුවා හට එනම් තම පුතුට සෙනෙහස පාන විට පදා පුතු විසින් මවට අසිපත ඔසවමින් මරණය ලඟා කර දිය හැකි අයුරු පෙන්වයි. එම පද තුළ පෞද්ගලිකව මා දකින්නේ ස්වභාවදහමට මිනිසුන් විසින් කරනු ලබන කෙනෙහෙලිකම් විනාශයන් පෙන්වා දීමක් ලෙසයි. එය ඊලඟ පද කොටස තුලින්ද පෙන්වන බව මාගේ හැගීමයි. එනම් පොළොව ධරණි මාතාව කම්පා වීමත්, ගුවන අහස් කුස ගුගුරවා යෑමත් රචකයා සිහිපත් කරන්නේ ඒ ස්වභාවදහමට කරනු ලබන විනාශයන්ට්ටට ස්වභාවදහමින් පෙරලා ලැබෙන දේ ගැනයි. ඒ සියල්ල දුටු විට පවා අපට බුදුරජාණන් වහන්සේ සරණ යෑම කල යුතු බවට රචකයා අපට කියයි.

ප්‍රේමය ලෝකේ යා ද නැසී
ප්‍රේමය ලෝකේ යා ද නැසී
වෛර ගිනි ඇවිලේ ද දැඩී
මාතා ස්නේහේ පායා ඇති
තම පුතු අසිපත‍ පාවී දෝ

ධරණීතල කම්පා වේදෝ
ගගනෝදර ගුගුරා යාදෝ

එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී

ගීතයේ අවසාන කොටසින් සම්බුදු සමිදුන්ගේ ගුණ ගායනයක් කියාදෙනු ලබයි.ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝක ජනතාවගේ කෙලෙස්බර ව්‍යාකූල සිත්වල ඇති අන්ධකාරය ඉවත් කර සෞම්‍ය කිරණ වලින් ලෝකයාගේ සිත් ආලෝකමත් කරන ලද අතර අමා ශාන්තියෙන් සෙවනැල්ල තුළින් සහ ප්‍රේමය නම් ජලයෙන් ජනතාවගේ මනස නහවනු ලබන අතර මාර යුද්ධයෙන් අපරාජිතව දෙව් මිනිසුන්ගෙන් පුජාවන් ලැබු, ලබන ලෝකයට සෙත සලසන සමිදුන්ගේ සදහම් පද, ධර්මය ලොව දස දෙස පැතිරේවා යනුවෙන් රචකයා කරන ප්‍රාර්ථනය ආලවක යක්ෂයා විසින් සම්බුදු සමිදුන් ඉදිරියේ කල ප්‍රකාශයට සමාන වේ.ඉන් අනතුරුව සම්බුදු සමිදුන් සරණ යාම හැම දෙනාගේම මුව තුල රැව්දේවා යන පැතුම සමගින් රචකයා ගීය අවසන් කරනු ලබන්නේද තෙරුවන් සරණ යාම සිහිපත් කරමින්‍ ය..

ලෝක පියා සිංදේ ලොව ජනගේ
ව්‍යාකුල සිත්හී අන්ධකාරේ
විසිරී සෙෳම්‍ය කිරණ ලෝනාගේ
ඒකාලෝකේ විය ලෝකේ

අමා ශාන්තියේ සෙවනැල්ලේ
ජන මන නැහැවූ ප්‍රේම ජලේ
මර සටනින් අපරාජිත වූ
සුර නර පුද ලැබ පූජිත ඒ

ලෝක ශිවංකර මාහිමිගේ
ධර්මේ දස දෙස පැතිරේවා

සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමී

සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමී

ඉතා දිගු ගීතයක් වන ගීතය ඔබත් රස විදින්න.
ඔබෙ රාගී මන කැළබේදෝ  -
අන්තර්ජාලයට ගීය ඇතුලත් කල අයට අපගේ ප්‍රාණාමය වේවා..

ඔබත් මේ ගීය රස විදින්න.එහි අර්ථය ඔබට වැටහෙන ලෙස අපත් සමඟ බෙදා ගන්න.අප දැක්වූ අර්ථය වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න.





Tuesday, December 24, 2019

ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.

අද අපි කතා කරන්න යන්නේ අපූරු විරහා ගීයක්. මේ ගීතය තුල ජීවිතය යථාර්ථවාදීව අපූර්ව සොදුරු සරල උපමා මගින් පෙන්වා ඇති නිසා ඕනීම කෙනෙක්ට උපරිමයෙන් අර්ථ රසය විදීමට අවස්ථාවක් සැලසෙනවා.

බන්දුල නානායක්කාරවසම් මහත්මා විසින් රචිත , සුනිල් එදිරිසිංහ මහත්මගේ හඩින් ගැයෙන වියෝ වූ පසුවයි දැනෙන්නේ යන අපූර්ව පද රචනයට සහ හඩට ගැලපෙන්නට සුන්දර සංගීතය සපයා තිබෙන්නේ රෝහණ වීරසිංහ සංගීතවේදියාණන් විසින්‍ ය.

මේ අපූර්ව පද මාලාවේ සැබෑම තේරුම හෝ පසුබිම පිළිබඳව සොයාගන්නට නැති වූවත් අපට වැටහෙන අයුරින් මේ පද මාලාව රස විදිමු.

පහත පරිදි ගැයෙන මෙහි මුල් කොටස ගීතය විරහා ගීයක් ලෙසත්, එය අපි ජිවිතය තුල අත්දකින යථාර්ථය එලෙසම පෙන්වා දෙනවා.



වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...

මේ ගීය පෞද්ගලිකව මා දකින්නේ ප්‍රේමයෙන් වෙලුණු දෙදෙනකුගෙන් එක් අයෙකු ඒ ප්‍රේමය අතහැර තුන්වන කෙනෙකු ලගට ගොස් ආදරයෙන් වෙලී ඉන්නවා දකින අනෙක් කෙනාගේ සිතුවිලි කියන්නට උත්සහ දැරීමක්. තුන්වන කෙනා බොහෝවිට කලින් පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් අපි පදයෙන් පදය අර්ථ ගන්වා බලමු.

99% දෙනාම අත්දැක ඇති දෙයක් තමයි යමක් අපි ලග තියෙද්දි එහි අගයක් හරියට නොදැනීම.. ආදරය කරපු කෙනෙක්නම් ඒ ආදරය අහිමි වීම කොතරම්ද කියන එක. ඒ වගේම තමයි අපිට යම් ආදරණීය කෙනෙක්, හිතවත් හෝ ප්‍රේමණීය කෙනෙක් අපි ලගින් ඉන්නකල් නොදැනෙන වටිනාකම අපිට දැනෙන්නේ වියෝවකින්. සමාජය තුල පවා මේ දේ සත්‍යයක්. යම් කෙනෙක් ඉන්න කොට කිසි අගයක් නැති මුත්, බනින මුත් , ඒ කෙනා මැරුණු පසු කරන ගුණ වර්ණනා ඔබ අප සියලු දෙනා අසා ඇති බව නොවනුමානයි. ඒ සත්‍යය ප්‍රේමය තුලින්ම රචකයා පෙන්වන්නේ ප්‍රේමයේ වටිනාකම, අභිමන දැනෙන්නේ වියෝවකින් පසුව බව කියමින්. ඊළගට කියන කරුණත් අපි කිසි විටම හිතන්නේ නැති දෙයක්. අපි කවදාවත් සිනාහව සරදමක් ලෙස දකින්නේ නෑ. ඒත් බලන්න රචකයා කියන අපුර්ව කාරණය. හඩන දවසක ඒ කදුල තමයි දකින්නේ ඒ සිනහව සරදමක් විදිහට. අපි කදුලු සලමින් අඩමින් දුකින් ඉන්න වෙලාවක හිනාව කියන්නේ සරදමක්, නැත්තන් නපුරු දෙයක්... ඒ තමයි අපි නොදකින යථාර්ථය.
සරලව කියනවානම් පෙම්වතා හෝ පෙම්වතිය තමා හැරගියාට පසු ඉතිරි කෙනා ඒ ප්‍රේමයේ වටිනාකම ගැන, කදුලු පිරි දෙනෙතින් පරණ ආදරණීය මතක හිතමින් හිත පෑරීම, තමාට සරදම් කරන අයුරකින් රචකයා කියනවා.

මධ්‍ය පද තුල කියන්නේ අපි සරලව දකින දේ ඇත්තටම තිබෙන යථාර්ථය ගැන කියවීමක්.

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..


අපි හැමෝම දකින, දැක ඇති සරල උපමාවක් තුලින් විශාල පරාසයක යථාර්ථය කියන්නට මේ තුල බන්දුල නානායක්කාරවසම් ශූරීහු ඉතා දක්ෂවී ඇති බව අවිවාදයෙන් පිලිගත යුතුමය. ලස්සන ගංඟාවල, ඇළක ඉවුරේ ඉදන් අපි ඒ ගලනා දියේ සුන්දරත්වය කොපමණ විද ඇත්ද? එලෙසම ඒ ගඟට හෝ ඇළට බැස බැලු විට එහි ඇති ගැඹුර, වේගයෙන් ගලායාම, බිහිසුණු බව තේරුම් ගොස් ඇති බව නිසැකයි. සරලව කියනවානම් ගඟක අයිනක/ ඉවුරක ඉදන් බලා ඉද්දි ඒ ගඟ ගැන පුදුමක් ආශාවක් ඇතිවෙන්නේ.කොච්වර බලා හිටියත් ඇතිවෙන්නේ නැති තරම්. ඒ තරම් ගඟ සොදුරුයි, සුමටයි, ලස්සනයි.. ඒත් ඒ ගං දියට බැස්සාම හරිම දරුණුයි, චන්ඩයි. සමහර විට ඒ දිය තුලම ජීවිතය මරණයට ගෙනයන්න පුලුවන්.
ජිවිතයේ යථාර්ථය එලෙසමයි. අපි දකිනවා ප්‍රේම කරන යුවල්, විවාහක යුවල් හරි ආදරයෙන් සතුටින් ඉන්නවා.ඒ අපි ඉවුරු දෑලේ ඉදන් බලනකොට පේන විදිහ. නමුත් අපි ඒ තුල ඉද්දි තමයි ඒ විදිහට සුන්දරත්ව පේන දේ යථාර්ථය දකින්නේ.මේ පෙම්වතා හෝ පෙම්වතියත් ඒ ආදරය සුන්දරව දැකලා දැන් වියෝවීම තුල වේදනා විදිනවා. ප්‍රේමය විතරක් නෙවෙයි. ඕනීම දෙයක් පිට ඉදන් බලන කෙනෙක්ට හරි පහසුයි.ලස්සනයි. ඒත් ඒ දේ තමා කරද්දි, අත්විදින්නට වුනාම තමයි ඒ තුල තිබෙන අපහසුව, චණ්ඩත්වය, නපුර බව තේරුම් යන්නේ. ඒ යථාර්ථය රචකයා අපට හරිම අපුර්ව ලෙස පෙන්වා දෙන්නේ සරල උදාහරණයකින්.

අවසන් කොටසින් ජිවිත තුල පවත්නා තවත් යථාර්ථයක් රචකයා කියා දෙනවා.

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..


ජිවිතය තුල දේවල් තිබෙද්දී තිබෙන දේ වටිනාකමක් නැතිවා මෙන්ම, යම් යම් දේවල්වල වටිනාකම දැනෙන්නේ අඩුපාඩු
නැතිකම එක්ක තිබෙන දේවල් වල වටිනාකම දැනෙන අයුරු සොදුරු සරලව කියන්නට රචකයා දක්ෂ වී ඇති බවට මොනවට පැහැදිලිය. හඳ පායා නැති අමාවක අහසේ තරු අහසට එළියකි. ඒ තරුම හඳ පායා ඇති පුන් පොහොය දිනදී එතරම් වටිනාකක් නැත.වටිනාකමක් නොදැනෙන තරම්ය. මේ පද තුලින් රචකයා කියන්නේ පෙම්වතාට හෝ පෙම්වතියට වෙන කෙනෙක් නැති දාට අනෙක් කෙනාගේ වටිනාකම ඉතා ඉහල වන අතර සැනසිලිදායක ප්‍රේමයකි. ඒත් පෙම්වතාට හෝ පෙම්වතියට කෙනෙක් ලැබුනාම අනෙකාගේ අගයක් නොමැති අතර ඒ කෙනාට ලැබෙන්නේ ගැරහුම් පමණි. ඒ ජිවිත කතාව පරිසරයේ සිද්ධියකට ගලපමින් මනාව පෙන්නුම් කර ඇති බන්දුල නානායක්කාරවසම් ශූරීන්ගේ අදහස සුනිල් එදිරිසිංහයන් සුපැහැදිලිව සොදුරුව ගයමින් අප සිත් ඇද බැද ගන්නට සමත් වී ඇත. මෙහිදි පෙම්වතා හෝ පෙම්වතිය ලෙස සාධාරණව කියන්නට උත්සහ ගත්තද අපට පැහැදිලි ලෙස පෙනෙන්නට ඇත්තේ තමාව දමා ගිය පෙම්වතිය ගැන තරහක් නොමැතිව ජිවිතයේ යථාර්ථය දකින අහිංසක පෙම්වතෙකු විසින් කියන ලද කතාවක් ලෙසය. මෙහි පෙම්වතිය ගොස් ඇත්තේ පරණ පෙම්වතා සමඟ බව සිතෙන්නේ සඳ ඇතිදාට තරුවට ඇති තැන ගැන කියවෙන අවසන් කොටසෙනි.


මේ තරම් ජීවිත යථාර්ථය කියවෙන ගීයක් ඔබද රස විදීමින් ඔබට වැටහෙන අරුතද කියා යනා ලෙස ආරාධනා කරමි.

ගීය රස විදින්න

මේ සියල්ලේ අයිතිකරුවනට ස්තුතිය.

Saturday, November 23, 2019

පිං කෙත හෙළ රන් දෙරණේ

ආයුබෝවන් සියලු දෙනාටම...
අපි බොහොදෙනෙක් කාලය ගෙවද්දි බොහොදුරට ගීයක රස විදින්නට පුරුදු වෙලා ඉන්නවා... ඒ රස වින්දනය එකිනෙකාට වෙනස්... ඒ එක් එක් රසවින්දනයන් ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනී... ඒ සියල්ල අතරින් අපි ඇත්තටම ආස අපේ හදවත නිවෙන, ගී රස විදින්න...

ඒ අතරතුර සමහරුන් ගී පද වල අරුත ගලපමින් රස වින්දනය කරනවා. ඇත්තටම ගීයක හරිම අරුත දන්නේ ගී පද රචකයාණන්මයි... අපි එක් එක් කෙනා අපිට වැටහෙණ අරුත් ඒ ගී පද වලට දෙන්න පුරුදු වෙලා ඉන්නවා.. සමහර පුද්ගලයන් තව කෙනෙක්ගෙන් පද අරුත අසා දැනගන්නවා...

ඉතින් අප සුදානම් වෙන්නේ ඒ ගී පද වලට අපිට වැටහෙන අරුත පැහැදිලි කරන්නට... ඒ අරුත ඔබ වෙන ආකාරයකට තෙරුම් ගන්න පුලුවන්... මෙහි එම අරුතත් එක් කර යන ලෙස කියන ගමන් අපි පළමු ගීය ලෙස තෝරාගත්තේ ඩොල්ටන් අල්විස් නම් ප්‍රවීණ ගී පද රචකයාණන් විසින් රචනා කරන ලද, හෙළයේ මහා ගාන්ධර්වයා’ ලෙසින් කීර්තිනාම ලැබූ අමරදේව ශූරීන් විසින් නාදරටා සකසා ගයනා ලද "සසර වසන තුරු" ගීතයයි... සොයාගන්නා ලද විස්තර වලට අනුව හදිසියේම ලියවෙන ලද ගීතයක් ලෙස සදහන් වන ඉතා කෙටි පදමාලාවකින් යුතු මේ ගීයෙන් අප ඉපදී, ජීවත්වන මේ ලක් මෑණියන්ගේ වටිනාකම අපූරුවට අපට පෙන්වා දෙන බවනම් ඕනීම කෙනෙකුට තේරුම් යනවා... අපි දැන් ඒ ගීය කොටසින් කොටස බලමු...

සසර වසන තුරු
නිවන් දකින තුරු
සසර වසන තුරු
නිවන් දකින තුරු
පිං කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

පළමු පද වැල තුලින් බෞද්ධයන්ගේ අවසන් ඉලක්කය සසර ගමනේ නැවතුම වන නිවන දක්වාම, එනම් යම් දිනක මේ කෙලෙස් මල සෝදා නිවන ලබනතුරු උපදින විට, පිං කෙත හෙළ රන් දෙරණේ යළි ඉපදීමට හේතු වාසනා ලැබේවා ලෙස පැතුමක් පද රචකයා විසින් මනාව කරනු ලබයි. මෙහි රචකයා අපගේ මව්බිමට පිං කෙත හෙළ රන් දෙරණ යන වටිනාකම ලබා දී ඊලග පද වලදි එයට නිදසුන් සපයයි. සැබැවින්ම අප මේ ඉපිද සිටින බිම පිං කෙතක්මය. සම්මා සම්බුදු රජුන්ගේ පා පහසින් තෙවරක්ම පහස ලැබු, උන්වහන්සේගේ පිරිණිවන් මංචකයේදීද නෙත යොමුවූ මේ ලක්දිව හිස හැරුණු අතකට ගියොත් සම්බුදු සමිදුගේ ධාතුන් වහන්සේලා, වැඩ සිටින, ඒ උතුම් ශ්‍රි සද්ධර්මය විරාජමානව වැඩ සිටින, බුදු සමිදාණන් දේශනා කළ දහම් මග අනුගමනය කරන උතුම් සඟරුවන වැඩ සිටින මේ ලක්දිව පිං කෙතක් බව විවාදයෙන් තොරය.
එලෙසින්ම මේ ලක්බිම ඕනෑම වගාවක් කළ හැකි, ඒ භෝග නිසිලෙස ඵලදායි වන අනර්ඝ රන් දෙරණකි.මෙහි රන් මුතු මැණික්ද පිරී ඇති, අතීතයේ ශ්‍රී විභූතිය පිරුණු, වික්‍රමයන් කල විරුවන් සිටි, අනර්ඝ නිර්මාණ කල මුතුන් මිත්තන් සිටි රන් දෙරණකි. මේ බිම සෑබෑම වටිනාකම දැනගැනීමට කැමති ඇත්තෝ මහාවංශය කියවා ගැනීමද ඉතා හොදය. එලෙස මේ බිමේ වටිනාකම දන්නා අයට මේ ගීතයේ පද රචකයා සමඟ එකඟ නොවි නොසිටිය හැක.
මීලඟ පදවැල් තුලින් මේ බිම වටිනා වස්තූන් ගැන රචකයා කියා දෙනු ලබයි.

රත්නමාලී සෑ කිරණයි
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි

Image result for ruwanweli maha seya



මෙහිදී බෞද්ධ අපගේ සැබෑම වටිනාම පුජනීයම ස්වර්ණමාලී මහ සෑයත්, ජය ශ්‍රී මහ බෝ රජාණන් වහන්සේත් මතකයට නංවාලනු ලබයි.අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වන ධාතුන් වහන්සේලා වැඩ සිටින මහානීය වූ ගෞතම බුදුසසුණේ මහ සෑය වන රත්නමාලී සෑ රජුන් අපට, මේ බිමට සෙත සලසන අප ලැබු අපූර්ව තිළිණයකි.එසේම ලිඛිත ඉතිහාසය තුල පැරණිම වෘක්ෂය වන, ඊටත් වඩා අප බෝසතුන් වහන්සේ ඒ උතුම් බුද්ධත්වය ලැබුවා වූ, බුදු සමිදුන්ගේන් පවා පුද ලැබු ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉන්දියා රාජ්‍යයෙන්ද, ලක් රාජ්‍යයෙන්ද එලෙසම දෙව් ලොවින්, නා ලොවින් පවා වැදුම් ලැබූ අසිරිමත් අපගේ දායාදයකි. ඒ බෞද්ධ අපගේ වටිනාම පුජනීයම තිළිණයන්‍ ය. ඒ ගමන්ම පද රචකයා අපට අපේ අතීත සිංහල උරුමයන් දෙකක් ගැනද මතක් කර දෙයි. ඒ තිසා වැව සහ සීගිරිය යි.
Related image


 මෙතනදි පද රචනයට ගැලපෙන්නට ස්ථාන කිහිපයක් සිහිපත් කලද මේ මගින් අපගේ මව්බිම තුල ඇති අතීත ශ්‍රී විභූතිය විදහා දක්වන බව පෞද්ගලික හැගීමයි. ගීතය අසන අතරේ ඒ සියල්ල අපට මැවි මැවි පෙනෙනු ඇත.
මේ ගීතයේ ඒ ප්‍රෞඩත්වය පෙන්වන පද මාලාවටම ගැලපෙන්නද අමරදේව ශූරීන් සංගීත නිර්මාණය කොට ගායනා කරන අයුරු අපගේ සිත තුල මහත් අභිමානයක් පුබුදුවාලයි...
මේ ගීතය ඇසීමට පහත සබැඳි යොදාගන්න.එසේම මේ ගීතය ගැන ඔබට දැනෙන අදහසත් දක්වන්න.

www.topsinhalamp3.com - Sasara Wasana Thuru mp3

https://youtu.be/PYYF3cA38Ak

(මේවායේ අයිතිකරුවන්ට ස්තුතියි )


මේ ගීතය ගැන පලවු ලිපියක් මෙහි අමුණා ඇත.
http://www.divaina.com/2009/07/31/cineart02.html